(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ නිවසක් තුළ දඩ මස් අලෙවියේ නිරතව සිටි සැකකරුවෙකු දඩ මස් කිලෝ 110 ක් ද සමඟ අද (13) දින සවස සැකපිට අත්අඩංගුවට ගත් බව වලාන දුෂණ මර්දන ප‍්‍රහාරක බලකාය පවසයි.
එම නිවසෙහි පොහෝ දින දඩමස් විකුණන බවට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක බලකායෙහි බුද්ධි නිලධාරියෙකුට ලද තොරතුරක් මත දඩමස් මිලදී ගැනීම සඳහා උපාය දුතයෙකු යොදවා උපාය දූතයා වෙත දඩමස් විකුණන අවස්ථාවේදී එම නිවසේ හිමිකරු වන සැකකරු සහ කාමරයක අධි ශීතකරණ දෙකක සඟවා තිබූ දඩමස් තොගය ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ ශීත කළ මස් විකිණීම සඳහා හෝමාගම ප‍්‍රාදේශීය සභාවෙන් ලබා ගත් බලපත‍්‍රයක් තිබුණද සැකකරු සන්තකයේ වල් ඌරු මස්, ඉත්තෑ මස්, මුව මස්, ගෝණ මස් ආදී විවිධ මස් වර්ග තිබූ බවද එම බලකායේ නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව අදාළ මස් තොගය සහ අධි ශීතකරණ දෙකක් කිරුම් තරාදියක් ද සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කළ බවත් සැකකරු හෙට (14) දින හෝමාගම මහේස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවදත් එම බලකාය වැඩිදුරටත් පැවසීය.