තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු මරුට


(දියතලාව - ඩී.කේ.රත්න)

සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක විසින් තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහරදීම නිසා අද (02) එම පුද්ගලයා සෙවනගල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි සෙවනගල පොලිසිය පවසයි.

සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේම පදිංචි මහේෂ් චතුරංග නැමති 35 හැවිරිදි පුද්ගලයෙකු මෙම පහරදීම නිසා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව තම අනියම් බිරිදගේ නිවසට ගොස් සිය 14 හැවිරිදි පුතුට පහරදීම නිසා එම කාන්තාව මෙම පුද්ගලයාට නිවසේ තිබූ තියුණු ආයුධයකින් පහරදීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් සෙවනගල දිසා රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සෙවනගල දිසා රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ 42 හැවිරිදි කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.එන්.අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.