ඩෙස්ක් - පුටු හැදීමට මුදල් අයකිරීම අත්හිටුවයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක ප්‍රථමික විද්‍යාලයේ සිසුන් 1000කට අධික පිරිසකගෙන් ඩෙස් පුටු සෑදීම සඳහා රුපියල් 5,000 බැගින් අයකිරීම වහාම අත්හිටුවන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ යු. එන්. කේ. ජයලත් මහතා විසින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට නියම කොට තිබේ.

මෙම විද්‍යාලයේ තුන්වන සහ හතරවන ශ්‍රේණිවල සිසුන් ගෙන් ඩෙස් පුටු සෑදීමට කියමින් එක් අයෙකුගෙන් රුපියල් 5,000 බැගින් මුදල් අයකිරීමේ පුවත පසුගිය 11 වැනි දින ලංකාදීප පුවත්පත මගින් අනාවරණය කිරීමත් සමඟ එම විද්‍යාලයේ අධීක්ෂණයක නිරත වූ   පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙම පියවර ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙකු ද පත්කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අප කළ විමසුමේදී පැවසීය.

එම විද්‍යලයේ ඩෙස්, පුටු සැදීම සඳහා මේ වනවිටත් රුපියල් දහස් ගණනක්  දෙමාපියන්ගෙන් ලබාගෙන ඇති බවද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අතර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ දරුවන් දෙදෙනාගෙන් ද මුදල් අයකරගත් බව අනාවරණය වී තිබේ.

මෙම විද්‍යාලයේ දිගින් දිගටම දරුවන්ගෙන් මුදල් අය කිරීමේ චෝදනා රැසක් අණාවරණය වී ඇති බැවින් විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.