ට්‍රැක්ටරය - වෑන් රිය ගැටී 4 ක් රෝහලේ


( සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී  ට්‍රැක්ටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව කනගරායන්කුලම පොලිසිය පවසයි.

වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ හා ට්‍රැක්ටර් රථයේ ගමන්ගත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ට්‍රැක්ටර් රථය හා වෑන් රථය මාර්ගයේ පෙරළීගොස් ඇති බවද පොලිසිය පැවසීය.

වෑන් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර, අනතුර හේතුවෙන් ට්‍රැක්ටර රථයට හා වෑන් රථයට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය පැවසූහ. අනතුර සම්බන්ධයෙන් වවුනියාව කනගරායන්කුලම රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.