ජිනීවා විහාරයට ආධාර පතයි


ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය බරපැන සපයා ගැනීම සඳහා දායක වන ලෙස විහාරාධිපති පුජ්‍ය තවලම ධම්මික හිමියෝ ඉල්ලීමක් කර ඇත.

ස්විට්සර්ලන්තයේ පොදු නීතියට අනුකුලව සෑම ගොඩනැඟිල්ලකම විදුලි කම්බි සහ අනෙකුත් උපකරණ වසර 20 කට වරක් සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කලයුතු වෙයි. මේ අනුව ජිනීවා විහාරස්ථානයේද විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කාලය එළැඹ ඇත. මෙම කටයුත්ත සඳහා වැයවන සම්පුර්ණ මුදල රුපියල් ලක්ෂ 23ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම විහාරස්ථානයට දැරිය නොහැකි බරපතල වියදමකි.  "දීපදෝ හෝතු චක්ඛුදෝ" යනුවෙන් බුදුන් වහන්සේ අනුදැන වදාරා ඇති අන්දමට ආලෝක පූජාවෙන් දහම් ඇස පහළ වන බව කියවෙයි. බුදුරජාණන්වහන්සේගේ මෙම දහම් පදය මෙනෙහි කරමින් උන්වහන්සේගේ පිවිතුරු ධර්මය බටහිර රටවලද ප්‍රචලිත කරවීමෙහිලා කටයුතු කරන ජිනීවා විහාරස්ථානයේ මතු පැවැත්ම සඳහා    

අත්‍යාවශ්‍ය වන  මෙම කටයුත්තට ශක්ති ප්‍රමාණයෙන් සම්මාදම් වනලෙස උන්වහන්සේ ශාසනාලයෙන් යුතුව මතක් කර සිටී. 

මෙම අරමුදල සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් අගෝස්තුමස 13 සෙනසුරාදා සවස 5 ට විහාරස්ථානයේදී විශේෂ ආහාර සල්පිළක් සූදානම් කිරීමට බාසල් හි නිල්මිණි පෙරේරා මහත්මිය ප්‍රධාන විහාරස්ත දායක කාරකාදීන් කටයුතු යොදා ඇත. මෙම සල්පිළෙන් ලබෙන සියලුම මුදල් සහ ආධාර  විහාරස්ථානයේ නව විදුළි රැහැන් සකස් කිරිම සඳහා පරිත්‍යාග කරමින්, බුදුරජණන්වහන්සේ වෙනුවෙන් සිදු කරණ ආලෝක පූජාවක් සැමගේ සහභාගීත්වයෙන් සිදු කිරීම ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. විවිධ වර්ගයේ ප්‍රණීත, රසවත් ශ්‍රී ලාංකික ආහාර සහිත මෙම සල්පිළට පැමිණ ඒ සඳහා උපකාරවන්ත වන ලෙස සියළු ශ්‍රී ලාංකික සැමට සුහද සිතින් ආරාධනා කරයි. 

1(1) 2(2) 4(1)