ජාඇල ප්‍රා. සභාව වසා දමයි


(තිස්ස කොටින්කඩුව)

පසුගිය දින දෙක තුළ ජාඇල ප්‍රාදේශීය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලු සේවකයින් 7දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුවීම හේතුවෙන් ජාඇල ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති බව  ජාඇල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.එමි.වයි.විජේසිංහ මහතා පවසයි.
 
කොරෝනා වයිරස ආසාදිතයන් අතර ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරි, සැපයුම් නිලධාරි ඇතුලු රියදුරන් 5දෙනෙකුත් සෞඛ්‍ය අංශයේ සේවකයින් දෙදෙනෙකුත් වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.
 
ආසාදිතයන්ගේ සමිප ආශ්‍රිතයන් ගණනාවකගේ තොරතුරු අනාවරණය වී ඇති බවද ඔුහු වැඩිදුරටත් සදහන් කරයි.
 
ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුලු විවිධ අංශවල සේවකයින්  70 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇත. ප්‍රාදේශීය සභාවේ සියලුම සේවකයින් අද දින (09) තුළ පීසීආර් පරික්ෂණ සදහා යොමුකිරීමට කටයුතු යොදා ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.
 
ජාඇල ප්‍රාදේශිය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසන්නේ දින 14 ක් ප්‍රාදේශීය සභාවේ සියලු කටයුතු නවතා ප්‍රාදේශීය සභා කාර්යාලය වසා දැමීමට කටයුතු යොදා ඇති අතර මන්ත්‍රිවරුන් සියලු දෙනාද නිරෝධායනය සදහා යොමු කර ඇති බවය.