(ඩබ්ලිව්.ඒ. අසේල )
උඩුවෙල ජනඋදාන ගම්මානයට ජලය සැපයීමට හන්තාන ඌරාගල කොටසේ ඉදිකිරීම් ආරම්භ කළ ජල ව්‍යාපෘතිය නැවැත්වවීමට ගත් තීරණයට එරෙහිව ප්‍රදේශවාසින් එක්ව අද (9) උදෑසන සිට ගලහ හන්තාන මහනුවර මාර්ගය වසා උද්ඝෝෂණයක නිරත විය.
රුපියල් එක්කෝටි අට ලක්ෂ තිස් දහසක මුදලක් වැය වන මෙම ජල ව්‍යාපෘතිය සඳහා 2019 ජූනි මස 23 වැනි දින ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් ඇතුලු මැති ඇමතිවරුන් විසින් මුල්ගල තබා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි.
මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 350 කට පමණ ජලය සැපයීමට සැලසුම් කර තිබේ.
මෙම ඉදිකිරීම මගින් හන්තාන සහකාර වතු අධිකාරි බංගලාවට අවහිර වන බවත් දේපල වලට හානි විය හැකි බවත් දන්වා එම ඉදිකිරීම් නතර කරන ලෙස ජන උදාන ගම්මානයේ ‘පිපාසයට පැන් බිදක්‘ ප්‍රජා ජල සංවිධානය වෙත දන්වා ඇත.