ජල බිල්පත අඩුකරන්න 5000 ක අල්ලසක් ඉල්ලයි


(ඉන්දිකා රාමනායක)
 
ජල බිල්පතේ අදාල මාසයට අදාල මුදල අඩුකර දීම සදහා කාන්තාවක ගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විශ්‍රාමික මනු කියන්නෙකු අද (6) කැලණිය නාතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයේ මනුකියන්නෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයකු බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණි   පද්මිණි වීරසුරිය මහත්මිය පැවසුවාය.

පැමිණිලිකාරිණියේ නිවසට ලැබී ඇති සැත්තැම්බර් මසට අදාල බිල් පතේ අයවිය යුතු මුදල ජල මීටර් ඒකක 77 කින් අඩුකර කිරිම සදහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවද     අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.

සැකකරු පැමිණිලිකාරියගේ නිවසට පැමිණ මෙම අල්ලස් මුදල ලබාගත් අවස්ථාවේ    අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.