විනීතා එම් ගමගේ
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කළ ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට පත් ජපන් ජාතිකයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ වීසා කාලය ඉක්මවා වසරකට ආසන්න කාලයක් මෙරට නීති විරෝධීව රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි පැවසේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත‍්‍රයකින් ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණයෙන් තරුණයින්ගෙන් මුදල් අයකරන බවට කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ජපන් ජාතිකයාගේ වීසා කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වැනිදායින් අවසන්වී ඇති නිසා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.