(රෝවන් පෙරේරා)
ජනපති නියමයෙන් වැව්වල පිරී ඇති සැල්වීනියා සහ ජපන් ජබර ඉවත්කිරීම අද (14) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩ සටහන යටතේ වැව්වල සැල්වීනියා සහ ජපන් ජබර ඉවත් කිරීමේ පලමු අදියර පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව මොරියාකුලම දේවාල කන්ද වැව යොදා ගනිමින් සිදු කෙරිණී.
පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් දහයක සැල්වීනියා සහ ජපන් ජබර ඉවත් කිරීමේ වගකීම සිවිල් ආරක්ෂක බළකායට පැවරී ඇති බවත් ජනාධිපතිතුමාගේ සංකල්පය මත සිදුකරන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අදාළ වැව යටතේ ක්‍රියාත්මක ගොවි සංවිධානයේ සහා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබා ගනිමින් සිදුකරන බවත් සිවිල් ආරක්ෂක බළකාය පුත්තලම අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් ජී ඩී මහේෂ් කුමාර මහතා පැවසීය.
රාජ්‍ය මුදල් වෙන්කර ගනිමින් මෙවැනි කටයුත්තක් කිරීමට රුපියල් ලක්ෂ අටක් දහයක් වැයවන බවත් ජනාධිපති සංකල්පයක් අනුව සිදුකර මෙම වැඩසටහන යටතේ එම මුදල් ඉතිරි වන බවත් දූෂණයකින් තොරව සැල්වීනියා සහ ජපන් ජබර ඉවත්කර ගැනීමට හැකි වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.