ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය අයෙකු මරුට


(සිරංගිකා ලොකුකරවිට)

උණවටුන ජංගල් බීච් මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයකුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන, කල්දෙමුල්ල පදිංචි සෞන්ද්‍රරාජා ක්‍රිෂ්ණන් නැමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.

උණවටුන, රූමස්සල ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයක පුනරුත්තාපනය වෙමින් සිටි පුද්ගලයෙකු වන මොහු එහි පිරිසක් සමඟ අද (30) ඒ ආසන්නයේ පිහිටි ජංගල් බීච් මුහුදු තීරයට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

එහිදී මොහු තවත් කිහිපදෙනකු සමඟ දිය නෑම සඳහා මුහුදට බැස ඇති බවත් ටික වේලාවකට පසු මුහුදේ පාවෙමින් සිටිනු දැක අවට සිටි අය විසින් ගොඩට ගෙනවිත් ඇති බවත් පොලිසිය පවසයි.

සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.