ඡන්ද අයිතිය ගැන කොමිසමෙන් වැඩසටහන්


(බිඟුන් මේනක ගමගේ)

 
අන්තර්ජාතික දින සැමරුම් යොදා ගනිමින් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ගැන පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
‘ සියල්ලන් ඇතුළත් ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් ’ යන ඔස්සේ මෙම වැඩපිළිවෙළ සකස් කරන්නේ යැයි ද අදාළ දිනවලට සම්බන්ධ රාජ්‍ය ආයතන හා ඒකාබද්ධව එය ක්‍රියාවට නගන්නේ යැයි ද දේශප්‍රිය මහතා කීය.
 
පුරවැසි කැමැත්ත හෙවත් ඡන්ද බලය මත පාලකයන් පත්කර ගැනීමේ වැදගත්කමත් යහපත් හැඟීම් ඇතිකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ හැකියාවත් මූලික කරගෙන මැතිවරණ කොමිසම මෙම කාර්ය ආරම්භ කළේ යැයි ද සභාපතිවරයා අවධාරණය කර කීය.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ පළමු වටයේ දැනුම්වත් කිරීම් පාසල් සිසුන් ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.
 
ඒ සඳහා වූ වැඩපිළිවෙළ සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන්නේ යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.