චීනච්චට්ටි කර්මාන්තකරුවන්ගේ දුක විමල් ජනපතිට ලියයි


විනීතා එම් ගමගේ
 
ඉවතලන චීනච්චට්ටි එකතු කර අපනයනය කිරීමේ ව්‍යාපාරයක් නිසා චීනච්චට්ටි වාත්තු කර්මාන්තය විනාශ වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දී ඇත. 
 
ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ලෝහ තොගයක කොටස්  බව ව්‍යාජව පෙන්වමින් වගකිව යුතු ආයතන හා  නිලධාරින් නොමඟ යවමින් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු   මෙම ජාවාරම කරගෙන යන  බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා යවන ලද ලිපියේ සඳහන් වේ. 
 
දේශිය කර්මාන්තකරුවන් විසින් නිපදවනු ලබන මෑන් හෝල් කවර, ගලි කවර, සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍ර, අපවහන නළ, වතුර මෝටර්, ග්‍රාක්ටර් අමතර කොටස්, බිම් තරාදි, තරාදි පඩි,   එන්ජින් ස්ලීව්, බුෂ් මෙන්ම පේෂ කර්මාන්තය, තේ කර්මාන්තය රබර් කර්මාන්තය හා වී මොල් සඳහා භාවිතා වන මහා පරිමාණ යන්ත්‍ර අමතර කොටස් ද මෙම දේශීය කර්මාන්තකරුවන් නිපදවනු ලබන බවත් මේ වනවිට ඔවුන් බරපතල ලෙස අමුද්‍රව්‍ය හිඟයට මුහුණ දී සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.
 
මේ තත්ත්වය යටතේ ඉහත කී යන්ත්‍රෝපකරණ මෙන්ම අමතර කොටස් ද පිටරටින් ගෙන්වීමට අති විශාල මුදලක් දේශීය ධනය වැය වන බැවින් වංචාකාරි ලෙස ලෝහ විදේශ ගත කිරීම නැවැත්වීමට කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.