ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාදුක්කේ ඇළක


(කේ බුද්ධික කුමාරසිරි)
 
අත් පා බැඳ පාදුක්ක ලියන්වල පුස්ඇලි ඔයේ අතු ඇළකට දමා ඝාතනය කළ බව කියන තරුණයකුගේ මළ සිරුරක් අද(14) එම ස්ථානයේ තිබී සොයාගත් බව පාදුක්ක පොලිසිය කියයි.
 
මිය ගිය තරුණයා, පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි තිළිණ දර්ශන නමැති 17 හැවිරිදි අයෙකි.
 
නීතිවිරෝධී මත්පැන් වරදකට පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවකු කළ පාපොච්චාරණයක් අනුව මෙම සිරුර සොයාගැනිණි.
 
ඇළ මාර්ගයේ තිබී සිරුර සොයාගන්නා අවස්ථාව වනවිට ඝාතනය සිදු වී දින 4ක් ගතවී තිබිණි.
 
සැකකරු එම තරුණයාගේ නිවසට නිතර පැමිණි ඥාතියෙකු බවද, ඔහුව උපායශීලීව ඇළ ඉවුර වෙත ගෙන ගොස් මත්පැන් පොවා අත් පා බැඳ ඇළට තල්ලු කර දමා දිය පහරේ ගසාගෙන යනතුරු බලා සිට පලාගොස් ඇතැයිද පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.
 
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වයි.