ගෙවීම් නොකළ ප්‍රදර්ශන පුවරු ඉවත් කරයි


(උපුල් තම්මිට අනුරාධපුර)

අනුරාධපුර මහනගර සභා බලප්‍රදේශයට අයත් භූමිය තුළ කිසිඳු ගෙවීමකින් තොරව සවිකර තිබූ දැවැන්ත ප්‍රදර්ශන පුවරු පසුගියදා ඉවත් කෙරිණි.

අනුරාධපුර මහනගර සභාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට කිසිඳු ගෙවීමක් නොකර සවිකර තිබූ මෙම නාමපුවරුවලින් බහුතරයක් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් සවිකර තිබූ බව පෙන්වාදෙන අනුරාධපුර මහනගර සභාවේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙම ප්‍රදර්ශන පුවරු සදහා මුදල් ගෙවීම් කරන ලෙස දැන්වුවද ඒ කිසිඳු දැනුම්දීමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අනුරාධපුර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් මෙම පුවරු ඉවත් කිරීමට තීරණය කළ බවයි.

මෙහිදී පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂවලට අයත් දැවැන්ත ප්‍රචාරක පුවරු රැසක් ගලවා ඉවත්කෙරුනු අතර අනුරාධපුර පොලිස් ස්ථානය අසළ ඩී.එස්.සේනානායක වටරවුම අසළින් ප්‍රචාරක පුවරු ඉවත් කිරීම ආරම්භ කෙරිණි. මෙහිදී කළ විමසීමකදී අදහස් දැක්වූ අනුරාධපුර මහනගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා පවසා සිටියේ සවිකර ඇති ප්‍රචාරක පුවරුවලින් බහුතරයක් සදහා නගර සභාවට අයවියයුතු මුදල් ගෙවීම පැහැරහැරීම නිසා මහනගර සභාවට විශාල පාඩුවක් සිදුවන සිදුවන බවත් මේ හේතුවෙන් වෙනත් අයෙකුට හෝ මුදල් ගෙවා ප්‍රචාරක පුවරු සවිකිරීමේ අවස්ථාව මගහැරී ඇති බවය.