(ටී.කේ.ජී.කපිල )
ගුවන් මගියෙකුට හෘදයාබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ , සිඩ්නි බලා ගුවන් ගනිමින් තිබූ ඊ.වයි.- 454 දරණ එටිහැඩ් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට මෙසේ මෙම හදිසි හෘදයාබාධය වැළදී තිබූ අතර , ඔහු කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් වහාම මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .
ඒ අතර මෙම ගුවන් යානය සදහා රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000 ) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760) ක් ලබා දුන් බව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් සිටියහ .
එහෙත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමේදී කාර්මික දෝශයකට ලක් වීම නිසා , යළි පිටත්ව යෑම අවලංගු කර , එහි සිට මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.