ගුරු පත්වීම් වසරක් තිස්සේ ඇණහිටී


(බිඟුන් මේනක ගමගේ) 
 
ගුරු සහායකයන් 3 777 කට ගුරු සේවයේ 3(2) ශ්‍රේණියට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය දී වසරකට ආසන්න කාලයක් ගතව තිබියදීත් එම තීරණය ක්‍රියාවට නගා නැතැයි ද එය කඩිනම් කිරීමට තීන්දු ගන්නැයි රාජ්‍ය සේවා කොමිසමනේ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
රුපියල් 10 000 ක දීමනාවකට ගුරුවරයකු කරන සියලු කටයුතු කිරීමට මේ පිරිසට සිදුව ඇතැයි ද මේ නිසා ඔවුන් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
 
රජයේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා තරග විභාගයක් පවත්වා බඳවා ගත් 2804 ක ගෙන් හා රජයේ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් තරග විභාගයක් පවත්වා තෝරාගත් 973 දෙනෙකුගෙන් මෙම පිරිස සමන්විත යැයි ද අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඔවුන් ගුරු සේවයේ 3(2) ශ්‍රේණියට අනියුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.