ගින්නකින් නිවසකට දැඩි හානි


(හැටන් රංජිත් රාජපක්ෂ)   
                  
නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව වත්තේ වතුනිවාස පේලියක අද (07) හටගත් ගින්නකින් එක් නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව පුදුකාඩු කොටසේ වතු නිවාස පේලියේ අද උදැසන 11.30ට පමණ ගින්න හටගෙන ඇත.

වතු නිවාස 10 කින් යුත් එම නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් එක්ව සෙසු නිවාසවලට පැතිර යාම දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා ගැනීමට සමත් වී ඇත.

ගින්නෙන් එක් නිවසක තිබූ වතුකම්කරුවෙකුට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න පිළිබඳව නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.