(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රථම දරු ප්‍රසුතිය සඳහා හොරණ මුලික රෝහලට ඇතුළත් වූ කාන්තාවක් හදිසියේ මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇයගේ සැමියා ඇතුළු ඥාතීන් පැමිණිල්ලක් කර ඇතැයි හොරණ මුලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර පදිංචිව සිටි ඩී.එම්. නිර්මලා නිශා කුමාරි 25 හැවිරිදි කාන්තාවකි.
හොරණ මුලික රෝහලට අනුයුක්තව සේවය කරන මාතෘ හා ළමා විශේෂඥ වෛද්‍යවරයකු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී මුදල් බැද කිහිප අවස්ථාවකදීම හමුවී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඒ සෑම අවස්ථාවකදිම දරුවා හා මව හොඳින් සිටින බවත් වෛද්‍යවරයා පවසා තිබූ බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ල අනුව හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා මරණ පරික්ෂණය පවත්වා සිරුර කලුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස නියෝග කළේය.
කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බන්දුල විජේසිංහ මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් අතර මියගිය කාන්තාවගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරිමට තීරණය කළ බව පොලිසිය පවසයි.