ගවයින් සොරාගෙන ගොස් පන්සල් වත්තේදී ඝාතනය කරයි


(රන්න චන්ද්‍රසේන ගමගේ)                                  
වීරකැටිය කසාගල නිවසක කාන්තාවක් විසින් ඇති දැඩි කරන ලද ගවයන් තිදෙනෙකු සොරාගෙන ඓතිහාසික කසාගල රජමහා විහාරය භූමියේදී මරා මස් කොට රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

ඊයේ (25) රාත්‍රී කසාගල විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක් ආසන්නයේ ගාල් කොට තිබූ මෙම ගවයන් තිදෙනා සොරකම් කොට  මරා මස් රැගෙන ගොස් ඇතැයිද පොලීසිය පවසයි.

දිගින් දිගටම කිසියම් පිරිසක් විසින් කසාගල අවට ගවයින්  සොරකම් කරන බව පවසන ප්‍රදේශවාසීන් පොලීසියට පැමිණිලි කළද  ඉන් තමන්ට සහනයක් ලැබී නැතැයිද ඔවුහු පවසති. කසාගල රජමහා විහාරයේ සිටි ගවයෙකුද පසුගිය දා අතුරුන් දන් වී ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.

වීරකැටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.