ගම්පහ බැංකු කොල්ලයක් වරදී


(තිලකරත්න දිසානායක සහ අධිකරණ ටෝනි කරුණානායක)
 
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක්  පලවාහැරීමට  එහි ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇතැයි ගම්පහ පොලීසිය කියයි.
 

අද (28) පෙරවරුවේ මෙය සිදු වීතිබේ.

මුහුණ ආවරණ කළ හෙල්මට් සහ ජැකට් පැළද යතුරු පැදියක පැමිණ ඇති තිදෙනෙකු බැංකුව ඉදිරියට පැමිණ ඇති අතර අයෙකු යතුරු පැදියෙහි සිටියදී අනෙක් දෙදෙනා බැංකුවට ඇතුලුවීමට තැත් කිරීමේදී එක් පුද්ගලයෙකු අත පිස්තෝලයක් සහ අනෙකා අත කඩුවක් තිබෙනු දුටු බැංකු ආරක්ෂක නිලධාරියා ඔවුන්ට වෙඩි තැබීමට සුදානම් වෙනවාත් සමඟ ම කොල්ලකරුවන් දිව ගොස් යතුරු පැදියට නැගී ගම්පහ දෙසට පළා ගොස් ඇති බව එම බැංකුවෙහි නිලධාරිනියක් පැවසුවාය. 
 
මේ සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් කළ පරීක්ෂණ මත    කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය අස්ගිරිය, ඇනිකට් හන්දිය අසල දමාගොස් තිබියදී සොයා ගෙන ඇති අතර එහි අංක තහඩු ගලවා දමා ඇති බව පොලීසිය පවසයි. 
 
 කොල්ලකරුවන් පැමිණි ආකාරය බැංකුවෙහි ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බවත් කොල්ලය සදහා පැමිණි යතුරු පැදිය සොරකම් කළ එකක් බවට සැක කරන බවත් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා පැවසීය. 
 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබිණි.