කෝටි ගණනින් මුදල් වංචා කළ 3ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකු, කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අද(23) පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි.
 
ගුවන්යානා සමාගමක ඉංජිනේරුවරයෙක් බව පවසා උසස් පෙළේ රැකියා කරන අවිවාහක කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මෙලෙසින් මුදල් වංචා කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර තුනක්, ජාතික හැඳුනුම්පත් නවයක්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක්, ව්‍යාජ වාහන අංක තහඩු, ස්ථාවර දුරකථන පහක්, ජංගම දුරකථන පහක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු පොත්, කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්, වංචා කළ මුදලින් මිලදී ගත් ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදි දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත. 
 
සැකකාර තැනැත්තා සමඟ අත්අඩංගුවට ගත් කාන්තාව වංචා කටයුතු සඳහා ඔහුට සහාය වෙමින් ඔහුගේ නැගණිය ලෙසින් පෙනී සිට ඇත.