කොටි වළ දැමූ රත්තරන් සොයමින් සිටි අයෙක් අත්අඩංගුවට


රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේ දී යුද සමයේ කොටි සංවිධානය විසින් වළ දමන ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් වැටලීමක දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වව්නියාව පූවර්සන්කුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව චෙක්කඩිපිලව් කුංජිකුලම් වෙල් යායක අදාළ සැකකරුවන් විසින් කොටි සංවිධානය වළ දැමුවේ යැයි සැක සහිත ස්ථානයක රත්තරන් සෙවීමේ උපකරණ ද සමඟ පොළව හාරමින් සිට තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් පලා ගොස් ඇති අතර එක් පුද්ගලයකු පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    

එහිදී පොළව යට රත්තරන් සෙවීමට හැකි ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු සන්නිවේදන උපකරණ කිහිපයක් ද පූවර්සන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.