(ඔගස්ටින් ප්‍රනාන්දු)
නොච්චියාගම නගරය කේන්ද්‍ර කර ගෙන පවත්වා ගෙන ගිය මහා පරිමාණයේ නීතිවිරෝධි කේරළ ගංජා ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත හැකිවු බව පුත්තලම පොලිස් විශේෂ ප්‍රහාරක බලකාය කියයි.
පුත්තලම පොලිසියේ සහය ඇතිව පුත්තලම කලපු ඉවුරේ දී වාහනයකින් ගෙන ආ කේරළ ගංජා කිලෝවක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් මෙම ගංජා නොච්චියාගම ප්‍රදේශයේ අයෙකුගෙන් මිල දි ගෙන හලාවත ප්‍රදේශයේ අයෙකුට අලෙවි කිරීමට ගෙන යමින් සිට බව එම සැකකරු පවසා ඇත.
සැකකරුගේ එම ප්‍රකාශය අනුව විශේෂ බලකායේ නිලධාරින් වහාම නොච්චියාගම ප්‍රදේශයට ගොස් පුත්තලමේ දි අත්අඩංගුවට ගත් සැකකරුට කේරළ ගංජා අලෙවි කළ මහා ජාවාරම්කරු කොටු කර ගෙන ඇති බවත් කියයි.
එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි ඔහු ළඟ කේරළ ගංජා කිලෝ එකකුත් මිලිග්‍රෑම් 650 ක් තිබී සොයා ගත් බවත් කියයි. ඔහු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියයි.
මෙම කල්ලිය පසුගිය කාලයේ දි මහා පරිමාණයෙන් කේරළ ගංජා විවිධ ප්‍රදේශවලට ගෙන ගොස් අලෙවි කර ඇති බවත් ඔවුන් නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 40 වන වියට අඩු වයසේ පසුවන්නන් වන බවත් පොලිසිය කියයි.
සැකකරුවන් හා අත් අඩංගුවට ගත කේරළ ගංජා පුත්තලම පොලිසිය වෙත බාර දි ඇත. පුත්තලම පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.