කෙසෙල්ගමුඔයේ මැණික් ගරමින් සිටි 6 ක් අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ)   

බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන්  මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24)  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
රත්නපුර සහ පැල්මඩුල්ල  ප්‍රදේශයන්වල පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
 
 කෙසෙලේගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිම හේතුවෙන් ගග දෙපස ඉවුරු කඩා වැටිමෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පැවති බව ද වැටලිම සිදු කළ බගවන්තලාව පොලීසිය පැවසීය.
 
බගවන්තලාව ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවෙකු විසින් මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ මෙහෙයවා ඇති බවත්,  මෙම වැටලිමේදි සැකකරුවන් සන්තකයේ තිබු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා උපයෝගි කර විදුලි මොටර්යක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසීය.