( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය ප්‍රදේශයේ දී 04 දින පස්වරුවේ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා, දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී වයස අවුරුදු එකහමාරක දියණියක් මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ මවත් පියාත් වයස අවුරුදු හතරහමාරක පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙන බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දඹුල්ල දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ බකමූණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
කැබ් රථ රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වූයේ යැයි දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක් වූ දිල්මි සවින්ද්‍යා සඳදිනි නැමැති කුඩා දියණිය වන අතර බරපතළ තත්වයේ පසුවන්නේ මෙම පවුලේ වැඩිමහල් දරුවෙකු වූ වයස අවුරුදු 4ක් වූ ඕෂධ විභාත් පෙරේරා බවත් තුවාල ලබා ඇත්තේ එම දරුවන් දෙදෙනාගේ මව එල්.ආර්.එම්. දමයන්ති (32) පියා එච්. ඒ. කෙනඩි ක්ලැරන්ස් පෙරේරා (32) යන අය ය.
මෙම පිරිස මැල්සිරිපුර පන්ලියැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
දියතලාවේ ප්‍රදේශයේ පදිංචිව සිටින බිරිඳගේ ඥාති නිවසක සිට නැවත මැල්සිරිපුර සිය නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.