කළමනාකරුවන් 17ක් කම්හලේ සිරකළ සේවකයන් 9ක් අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හොරණ මහවත්ත කර්මාන්තශාලාවක කළමනාකරුවන් 17දෙනෙකු රැස්වීම් ශාලාවක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටි සේවකයන් නවදෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත්  සේවකයන් කර්මාන්තශාලාවේ යන්ත්‍ර ක්‍රියාකරුවන් බවද පොලිසිය කියයි.
 
කර්මාන්තශාලාවේ සේවකයන් පිරිසකට අතිකාල හා දිරි දීමනා නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මූලික කරගනිමින් ඔවුන් මෙසේ සිරකර ඇතැයි පොලිසිය කියයි.
 
කළමනාකරුවන් 119 හදිසි දුරකථන ඇමතුම් අංකයට කළ පැමිණිල්ලක් අනුව ඔවුන්ව මුදා හැරීමට සේවක පිරිස කටයුතු කර තිබිණි.
 
අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් අයුතු ඇතුළුවීම හා සාපරාධී බලහත්කාරකම් පෑම යන චෝදනා යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.