කරපිංචා රක්ෂිතයේ ගංජා හේන්


(සමන් පාලිත නානායක්කාර) 

කොස්ලන්ද ඌව මාවෙලගම කරපිංචා රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය අක්කර කාලක ප්‍රමාණ වූ ගංජා හේන් දෙකක් අද (18) වටලා සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිද්දෙනිය සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි 44 සහ 48 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

මෙම  ගංජා  හේන් දෙකේම අඩි  නමයක් දහයක්   පමණ උසට සරුවට ගංජා ගස් වැවී තිබූ බවත් අස්වැන්න නෙලීමට ආසන්නයේ පැවැති බවත් පොලිසිය කියයි. 

 නඩු භාණ්ඩ ලෙස  ගංජා පැළ කොටසක් තබාගෙන හේන්  දෙකේ සෙසු ගංජා වගාව   ගිනි තබා විනාශ කළ බව මෙහෙයුම සිදු කළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ.  ඩී.  පී.  පද්මකුමාර මහතා පැවසීය.

සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.