(එම්.සුසිල් ප්‍රියන්ත)
ගොඩ ඉඩම්වලින් වැලි හෑරීමේ ජාවාරමක් නිසා සිය බල ප්‍රදේශයේ උග්‍ර පාරිසරික ගැටළු රැසක්ම මතුවී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති.
සිය බල ප්‍රදේශයේ ගොඩ ඉඩම්වලින් වැලි නිධි මතුවීමත් සමගම මේ ජාවාරම දැන් මුළු කරන්දෙණිය පුරාම ව්‍යාප්ත වෙමින් ඇතැයිද ඔවුහු කියති.මේ නිසාම කරන්දෙණියට ආවේනික ආර්ථික වාසි ඇති වගාවක් වන කුරුදු වගාව මෙන්ම කුඹුරු වගාවද දිනෙන් දිනම නැතිවී යමින් පවතී.
ගොඩ ඉඩම්වලින් වැලි හෑරීමත් සමගම දැන් දැන් සිය බල ප්‍රදෙශයේ ඇති ළිං සිදීයාමේ දැඩි අවදානමකට ලක්වී සිය බල ප්‍රදේශයේම උග්‍ර ජල හිගයකට පත්වී තිබෙන බවද කරන්දෙණියේ ජනතාව කියති.
වැලි හෑරීමෙන් පසු අත හැර දැමූ ගොඩ ඉඩම්වල විශාල වළවල් දනට ලැබෙන බවත් වැසි වතුර පිරී ඇති එම වළවල් සිය බල ප්‍රදේශයට ඩෙංගු ,බරවා රෝග වාහක මදුරුවන්ගේ නිජ භූමි බවට පත්වී ඇත.
මේසා විශාල පාරිසරික හානියක් සිය බල ප්‍රදේශයට සිදුවෙමින් පැවතියද ඊට අදාළ බලධාරීන් මුනිවත රැකීම ඉතා කනගාටුදායක බව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා කීවේය.මේ පාරිසරික විනාශය නතර කිරීමට කඩිනම් විසදුමක් නොගත හොත් මුලු කරන්දෙණියම මේ වැලි ජාවාරමෙන් විනාශවී යාම නොවැලැක්විය හැකි බවද ගුණරත්න මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණී අමරවංශ මහතාගෙන් විමසූවිට පැවසුවේ මේ පිලිබදව තමාට ද තොරතුරු ලැබී ඇති බවත් මේ ගැන අදාල බලධාරීන් දැනුම්වත් කිරීමට පියවරක් ගන්නා බවය.