කඹුරුපිටියේදී පිහියකින් ඇන තිදරු පියෙකු ඝාතනය කරලා


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
කඹුරුපිටිය බස් නැවතුම්පොලේ දී තිදරු පියෙකුට පිහියකින් ඇණ ඝාතනය කර ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට හා පොලිස් සැරයන්වරයෙකුට තුවාල සිදුකර පලා ගිය බව කියන මාළු වෙළෙන්දෙකු අද (05) රාත්‍රී නීතිඥවරියක මාර්ගයෙන් පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.
 
එසේ මරණයට පත්ව තිබුණේ කඹුරුපිටිය වැලිහේන්ගොඩ පදිංචිව සිටි ප්‍රදීප් සුරංග නැමැති 33 හැවිරිදි තිදරු පියෙකි.ඔහු ලීසිං ආයතනයක සීසර්වරයෙකු ලෙස රැකියාව කළ අයෙකි.
 
පිහියෙන් ඇනීම සිදු කර ඇති සැකකරු ඔහුගේ මිතුරෙකු වී සිට ඇති අතර පසුව සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් එකිනෙකා අතර ආරවුලක් ඇති වී තිබෙන බව පොලිසිය කියයි.
 
කඹුරුපිටිය බස් නැවතුම්පොළ ඉහළ මහලේ දී පෙරේදා (04) රාත්‍රීයේ  ඔවුන් අතර ගැටුමක් ඇතිවී ඇති බවත්  එම අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙපාර්ශ්වය සමථයකට පත් කර පිටත්කර යැවීමෙන් පසු යලිත් ඔවුන් අතර ගැටුම ඇති වී තිබෙන බව පොලිසිය කියයි.
 
එහිදී යළිත් පොලිසිය මැදිහත් වී තිබෙන අතර සැකකරු අදාල තිදරු පියාට ලුහු බැද ගොස් පිහියෙන් ඇනීමෙන් පසු ඔහුගේ මිතුරන් දෙදෙනාට හා පොලිස් සැරයන්වරයාට ද එම පිහියෙන් ඇණ පලා ගොස් තිබේ.
 
තුවාලකරුවන් සිව් දෙනාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර අසාධ්‍ය තත්වයේ පසු වූ තිදරු පියා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු මරණයට පත්ව තිබේ.
 
මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා ඉදිරියේ දී පැවැත්විණි.
 
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුර ඥාතීන්ට භාර දී වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙස ඒ මහතා පොලිසියට නියෝග කළේය.
 
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වෙත භාර වු කඹුරුපිටිය මස්තකයමුල්ල පදිංචි 33 හැවිරිදි සැකකරු හෙට (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.