කන්දකැටිය ගොවියෝ පාරට බසිති



 
නිශාන්ත කුමාර
 
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ව්‍යාපරයට අයත් 50 ක පමණ ගොවි පිරිසක් අද  (26) දහවල් කන්දකැටිය නගරයේ හා කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී  උද්ඝෝෂණයක නිරත වූහ.


ගම්වාසී ගොවි ජනතාව සමඟ බත්මැඩිල්ලේ සුමනන්ද හිමියෝ උද්ඝෝෂණය සංවිධානය කළහ.


ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ගොවි බිම්වෙත දියවර සපයන ප්‍රධාන අමුණ හා ඇල මාර්ගය කැඩී බිදී විනාශයට පත්ව මාස ගණනාවක් ගතව ඇතත් එය පිළිසකර කර නොදීමට විරෝධය පල කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.


ඇල අමුණ කැඩී යාම හේතුවෙන් මේ වන විටත් එම ව්‍යාපාරය යටතේ වගා කර ඇති අක්කර ගණනාවක වී හා බඩ ඉරිගු වගාවන් විනාශයට පත්වීමේ අවධානමක් මතුව ඇති බවද උද්ඝෝෂකයෝ පැවසූහ.


‘‘බත්මැඩිල්ල අමුණු හදනු, අද ආවේ කියල යන්න හෙට එන්නේ නතර වෙන්න, වී ටික ගේ නැති වුණාම පොලී දෙන්න බැරි වෙනවා, වී ටික ගෙයි නැති වුණොතින් දරුවෝ ගෙයි බඩ ගින්නේ , කුඹූරු කෙටුවේ නැති වුණාම ජීවන බර වැඩි වෙන්නේ . ආදී සටන් පාඨ කියමින් කන්දකැටිය මංසන්ධීයේ සිට කිලෝමීටරයක පමණ දුරක් පා ගමනින් පැමිණි පිරිස කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ  ගොවිජන සේවා නිලධාරි දුමිදු  අහංගංගොඩ මහතා වෙත සංදේශයක් ද බාර දුන්හ.