(දිලීප් ජයසේකර)
කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩමස් සැපයූ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත ගිණිඅවි දෙකක් සමඟ තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේදී අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකය පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත් වුයේ සෙල්ලකතරගම ධීවර ගම්මානයේ පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙකු සහ තිස්සමහාරාම බෙරළිහෙල පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම සාමගුලිය රක්ෂිතයේ දඩයමේ යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්,කතරගමට පැමිණෙන බැතිමතුන් සඳහා දඩමස් සැපයීමද මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.