(අමදෝරු අමරජිව)
පළාත් සභාවට වෙන්වී ඇති බලතල උපයෝගි කරගෙන නැගෙනහිර ජනතාවට උපරිම සේවාවක් කරන බව නැගෙනහිර නව ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (07) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවැසීය.
සර්ව ආගමික් වතාවත් වලින් අනතුරුව සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා මෙසේද පැවැසීය.
‘‘1987 වසරේ පැවති මුල්ම උතුරු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද මා ක්‍රියා කළා.
උතුරු නැගෙනහිර වෙන් කිරීමෙන් පසු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් පළාත් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා. පළාත් සභා ක්‍රමය පිළිබඳව සෙසු අයට වඩා මට අත්දැකිම් තියෙනවා.ඉදිරියේදී සියලු ජන වර්ගවලට ජාති භේදයකින් තොරව සේවය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. යැයි ඒ මහත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට සහභාගි වූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේ.පි.අරුණ ජයසේරකර,22 සේනාංකාධිපති මේජර් ජනරාල් නෙවිල් වීරසිංහ යන මහත්වරු ආණ්ඩුකාරවරයා වෙත සමරු තිලිණ ප්‍රදානය කිරීමක්ද සිදුකළේය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන,පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුලු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.