අජිත්ලාල් ශාන්තඋදය සහ පී.ඒ.කේ.විජයසුන්දර
ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගඟේ පතල් කැපීමට දුන් බලපත‍්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් නීතීඥ පී.උඩෝවිට මහතා පැවසීය.
රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට නිල දැනුම් දීමක් කරමින් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එල්ලාවල ගඟේ ඉවුරට, රක්‍ෂිත වලට සහ යාබද ඉඩම් වලට මෙන් ම සමස්ත පරිසරයටම හා දිය උල්පත්වලට හානි වන අන්දමින් එල්ලාවල ගඟේ සිදුකරන මැණික් පතල් කැපීම වහාම නවත්වන ලෙස දිගින් දිගටම ප‍්‍රදේශයේ ගොවි ජනතාව, ප‍්‍රදේශවාසීන් මෙන්ම පරිසරවේදීන් ඉල්ලා සිටියහ.
රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට කළ දැනුම් දීමක් මත මෙම ගංරක්‍ෂිතයේ අනවසර පතල් කැපීම පිළිබඳව සාමූහික පරීක්‍ෂණයක් කළ බව අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පතල් හා කැණීම් දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව සිදුකළ මෙම සාමූහික පරීක්‍ෂණ වාර්තාව සැළකිල්ලට ගෙන රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කළ නියෝගයක් අනුව දී ඇති පතල් කැණීම් බලපත‍්‍ර තාවකාලිකව අත්හිටවු බව ද ඔහු පැවසීය.