(ක.ග. කරුණාරත්න)
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඇතිවූ අධික වර්ෂාව නිසා වැව් බැම්ම කැඩීගිය එප්පාවල පහළ හල්මිල්ලෑව වැව රුපියල් ලක්‍ෂ 380ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතා අද (29) මහවැලි එච් කලාපයේ කේෂ්ත්‍ර චාරිකාවක නිරත වෙමින් එහි පිළිසකර කටයුතු ආරම්භ කළේය.
එප්පාවල පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ වගාකර තිබූ සෝයා බෝංචි වගාවක අස්වනු නෙලීමේ කටයුත්තකටද ගොවි ගෙවිලියන් සමඟ ඇමතිවරු සහභාගි වූහ.
එම අවස්ථාවට ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ ආයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති ශෙෂාන් සේමසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය ආමාත්‍යාංශයේ ලේකම් ඩබ්.බී. පලුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉන්ජිනේරු සුනිල් පෙරේරා, මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු උභය කල්‍යාණ කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.