එකම කට්ටිය ඇන කොටාගෙන


මහමැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය කියයි.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති ‍ තෙන්නකෝන් මහතා සඳහන් කළේ ‍එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. මේ සඳහා අන්තර්ජාලය , ‍ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවිඩ ද බහුලවම යොදාගන්නා බව තෙන්නකෝන් මහතා පවසයි.

සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි තත්වයක් සුළු වශයෙන් දක්නට ලැබුනද මේ වනවිට එම තත්වය දැවැන්ත මට්ටමින් ක්‍රියාත්මක බවත්, මෙහි අවසන් ප්‍රතිඵලය එකම  දේශපාලන  පක්ෂයේ අපේක්ෂකයින් අතර තරඟය තියුණු වීම සහ ගැටුම් මෙන්ම ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම බවත් කැෆේ සංවිධානය කියයි.