උහන පාසලකට වල් අලි කඩා වදිති


(නවරත්න සමරතුංග)
 

 
අම්පාර අධ්‍යාපන කලාපයට අයත් උහන ගලපිටගල මහාවිද්‍යාල පරිශ‍්‍රයට අද (6)  කඩා වැදුණු වල් අලි රංචුවක් ආරක්ෂිත යකඩ වැට කඩා දමා තිබේ.
 
රුපියල් ලක්ෂ 26ක ප‍්‍රතිපාදන මගින් ආරක්ෂිත යකඩ වැට ඉදිකර කර තිබිණි.  
 
මේ දිනවල එම ප‍්‍රදේශයේ ගොවීන් වී අස්වැන්න නෙලමින් ඒවා අලෙවි කිරීමට පෙර අව්වේ වේලා ගැනීම සඳහා මෙම පාසල් ඉඩම තෝරාගෙන තිබිණි.
 
එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් වන මෙම ගොවීන් තම වී අස්වැන්න ආරක්ෂා කර ගැනීමට මෙසේ වී තොග පාසල් ඉඩමට ගෙනැවිත් ඇත. 
 
වෙල් යාය හරහා පැමිණි අලි රංචුවක් කුඹුරුවල අස්වැන්න නොමැති බැවින් මෙසේ පාසල් ඉඩමට පැමිණ ඇති බව ගොවීහු කියති. 
 
මෙහි ගොඩගසා තිබුණ වී ගෝනි 20 ක් පමණ වල් අලින් ගිල දමා තමන්ට බරපතල අලාභයක් කර ඇති බවද ඔවුහු පවසති. 
 
මේ පිළිබඳව උහන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම්දී ඇති බවද විදුහල්පතිවරයා කීය.