උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම්


 

 

රොමේෂ් මධුෂංඛ

 

උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් 884 දෙනෙකුට ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ස්ථීර ගුරු පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අදාළ ස්ථීර ගුරු පත්වීම් 884 න් උතුරු පළාතම ආවරණය වන පරිදි පළමු පියවර වශයෙන් ස්ථීර ගුරු පත්වීම් 194 ක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයට ස්ථීර ගුරු පත්වීම් 534ක්ද, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ගුරු පත්වීම් 71ක්ද, මුලතිව් දිස්ත්‍රීක්කයට පත්වීම් 73ක්ද, මන්නාරම් දිස්ත්‍රීක්කයට පත්වීම් 126ක්ද, වව්නියාව දිස්ත්‍රීක්කයට පත්වීම් 80 ක්ද ප්‍රධානය කිරීමට නියමිතව ඇත.

පසුගිය දිනයන්හි වසරකට ආසන්න කාලයක් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදු කරන ලද විරෝධතාවන්ට විසඳුමක් වශයෙන් මෙසේ ස්ථීර ගුරු පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇත.

ගුරු පත්වීම් ලබා දීමේ උත්සව අවස්ථාවට තවද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා සහ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාසා ඇතුළු පිරිසක් සහභාගී වූහ.