උතුරේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නන්ට ධීවර අමාත්‍යංශයෙන් සීමාවක්


(මනෝජ් හර්ෂික)

ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කිමිඳුම් කටයුතුවල නියැලෙන ධීවරයන්ට වෙරළේ සිට සැතපුම් පහක දුරක් පමණක් භාවිත කරන ලෙස ධීවර අමාත්‍යාංශය අද(19) උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ජී.එස්.පී තාක්ෂණය ඔස්සේ එම සීමාව තීරණය කර සිතියම් ගත කර ඇති බවත්, මෙම සීමාව උල්ලංඝනය කරන ධීවර කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමට නාවික හමුදාවට උපදෙස් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
 
පේදුරුතුඩුවේ සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත ධීවරයින් සහ මුලතිව් වෙරළ තීරයේ සිට පේදුරුතුඩුව දක්වා කිමිඳී මුහුදු කූඩැල්ලන් අල්ලන ධීවරයන් සමඟ අද පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.