එෆ්.අස්ලම්
තම අනුදැනුමකින් තොරව පළාත් අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ.පතිනාදන් මහතා වෙත නියෝග කර තිබේ.
උතුරු පළාත් හිටපු ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ඩෙනීස්වරන් මහතා තවදුරටත් ධූරයේ සිටින බවට අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගයත් හේතුවෙන් මෙම නියෝගය සිදුකර ඇත.
තමන්ව ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව ඩෙනීස්වරන් මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී මෙම අතුරු තහනම් නියෝගය ලබාදී තිබිණි.
කෙසේ වෙතත් අධිකරණ නියෝගය පිළිගනිමින් නැවතත් පළාත් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා කටයුතු නොකිරීමත් පළාත් අමාත්‍ය මණ්ඩලය රැස්කිරීම ගැටළුකාරී තත්වයක් බවට පත්ව ඇත.
මහ ඇමැතිවරයා විසින් පත්කර ගත් අමාත්‍ය මණ්ඩලය තවදුරටත් කටයුතු කිරිමෙන් ඩෙනීස්වරන් මහතාද අමාත්‍යවරයකු යැයි පිළිගෙන ඇති මොහොතක පළාත් සභාවේ අමාත්‍යවරුන් හය දෙනෙකුට සිටිය නොහැකි වීමත් මත පළාත් අමාත්‍ය මණ්ඩලය රැස්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පැතීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා පසුගියදා (12) කටයුතු කර ඇත.
ප්‍රධාන ලේකම්වරයා විසින් උපදෙස් පතමින් යොමුකර ඇති ලිපියට ඊයේ(17) පිළිතුරු ලිපියක් යවමින් ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ අමාත්‍යවරුන් හය දෙනෙකු සිටිය නොහැකි බවත් අමාත්‍ය මණ්ඩලය වැඩිකිරීමේ කාරණයේ දී සිය අනුදැනුමෙන් තොරව කිසිවක් නොකරන ලෙසත් මෙහිදී නියෝග කර ඇත.