(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)
හාලිඇල නගරය ආසන්නයේම පිහිටි උඩදොම්පෙ රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 50 ක් පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැළෑටි රැසක් සහ ශාක විශේෂ රැසක් විනාශ වී තිබේ.
කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
ගින්න ඇතිවීමත් සමඟ හාලිඇල පොලීසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට උත්සහ කළද පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්වය නිසා ගින්න නිවාදැමීමට නොහැකි වී තිබේ.
හාලිඇල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.