(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩිය වේලක්කන්නිය දේවස්ථානයට යාබදබ ඉඩමක ශ්‍රමදානයක නිරතව සිටි පිරිසකට තවත් පිරිසක් එයට බාධා කිරීමත් සමඟ අද ( 24 ) ඇතිවන්නට ගිය ගැටුමක් වළක්වා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
පුත්තලම වේලක්කන්නිය දේවස්ථානයට යාබදව ඇති ඉඩමක් ආගමික සහජීවන කලාපයක් සඳහා ලබා දීමේන් පසුව එම ඉඩම එළිපෙහෙලි කර කම්බි ගැසීමට සුදානම් වන විට එයට බාධා කරමින් මෙම ඉඩම සඳහා අයිතියක් ඇති බව පවසමින් පිරිසක් කඩා වැඳී බාධා කරන්නට වීමත් සමඟ ගැටුම්කාරි තත්වයක් මතුවී ඇත.
ශ්‍රමදානය අතර තුර වේලක්කන්නි දේවස්ථානය අසල මුතුකුමාර වැව පිරිසිදු කිරීම සිදුවූ අතර ඉන් පසුව අදාල ඉඩමවටා කම්බි ගසමින් සිටියදී එම ස්ථානයට පැමිණි පිරිසක් තමන්ට එම ස්ථානයේ හිමිකම් ඇති බව පවසමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය.
ශ්‍රමදානයට එක්ව සිටි පිරිස් කියා සිටියේ එම ස්ථානයට අයිතියක් ඇත්නම් එය පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙසත් ඉන් පසුව නීත්‍යානුකුල ලෙස කටයුතු කරන ලෙසයත්ය.පසුව දෙපාර්ශ්වය අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර එය ගැටුමකාරී තත්වයක් දක්වා වර්ධනය විය.
පුත්තලම පොලිසියේ නිලධාරීන් 50 ක් පමණ පැමිණ දෙපිරිස අතර ඇති වන්නට ගිය ගැටුම සමතයකට පත් කළ අතර සිද්ධියට විසඳුමක් ලබා දෙන තුරු පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බව පැවසීමෙන් අනතුරුව පිරිස ඉවත්ව ගියේය.