ඇගළුම් කම්හලකින් සොරකම් කළ රෙදි තොගයක් නිට්ටඹුවෙන් සොයාගනියි


(රන්න චන්ද්‍රසේන ගමගේ)
හුංගම පොලිස් වසමේ රන්න ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රසිද්ධ ඇගළුම් කම්හලක ගබඩාවකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රෙදි තොගයක් නිට්ටඹුව ප්‍රදේශයේ ගබඩා කර තිබියදී හුංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඇගළුම් කම්හලේ සාමාන්‍යාධිකාරී වරයා විසින් ඉකුත් 07 වැනි දින හුංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලින් අනතුරුව ඇගළුම් කම්හලේ ගබඩාවක ගබඩා පාලකවරයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙම රෙදි තොගය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් ගබඩා භාර කරු ඉතා වංචනික ලෙස ඇඟළුම් කම්හල සතු රෙදි තොග ගබඩාවෙන් පිට කොට හෝමාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවත් ඔහු විසින් මිලදී ගත් රෙදි තොගය නිටටඹුව ප්‍රදේශයේ ගබඩා කොට තිබූ බවත් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

රෙදි තොගය ඇගළුම් කම්හලෙන් පිට කිරීම සදහා සහාය දුන් බවට සැක කෙරෙන ඇගළුම් කම්හලේ තවත් සේවකයන් තිදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් රෙදි තොගය අද (09) දින අගුණකොලපැලැස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.