( රංජිත් රාජපක්ෂ)
රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.
වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.
එම චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන වතු කම්කරුවෝ පැවසූහ.
තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.
ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.
මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.