(දයාරත්න ඇඹෝගම)
අවම සුදුසුකම් සපුරා නැති සේවකයන් රෝහල් සේවයට බඳවා නොගන්නා ලෙසටත් පැරණි සේවකයන් ස්ථිර කරන ලෙසටත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ උපස්ථායක සේවක සේවිකාවෝ පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි අද(25) උද්ඝෝෂණයක නිරතවුහ.
මෙම උද්ඝෝෂණය ඒකාබද්ධ වෘත්තිය සමිති සංගමය විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදි අදහස් දැක්වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ සභාපති සරත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
“වසර දහයකට අධික සේවා කාලයක් තිබෙන කම්කරු සේවකයන් මාස හතරක පුහුණුවකින් පසුව උපස්ථායක තනතුරු සඳහා බඳවා ගන්නවා. එසේ උපස්ථායක තනතුරුවලට බඳවාගත් මේ අයට මෙතෙක් ස්ථිර පත්වීම් ලබාදි නැහැ. අවුරුදු හතර පහ සේවය කළ සේවකයන් මෙතෙක් ස්ථිර කරලා නැහැ. මෙම දෙපාර්තමේන්තුවට සේවකයන් බඳවා ගන්න කොට ක්‍රමවේදයක් තිබෙනවා. අවම සුදුකම සාමන්‍ය පෙළ විභාගයෙන් විෂයන් හයක් සමත් වෙන්න ඔනේ සම්මාන හතරක් තිබෙන්න ඔනේ.
එහෙත් මේවන විට අඩු ආදායම් ලාභින් කියලා පිරිසක් සේවයට බදවා ගෙන තිබෙනවා. ඔවුන් අටවත් පාස් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ රෝහලේ පැරණි සේවකයන් ස්ථිර කරන ලෙස.ඒ වාගේම අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිස් රෝහල් සේවකයන් ලෙස බදවා නොගන්නා ලෙසටත් රජයෙන් ඉල්ලා සිටිනවා.එසේ නොමැති නම් සමස්ත රෝහල් සේවකයන් සමග එක්ව විරෝධය පළ කිරිමට පියවර ගන්නවා” යැයි සරත් සෙනෙවිරත්න මහතා මෙහිදි පැවසීය.