අ‘පුර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින්


(දයාරත්න ඇඹෝගම)


අනුරාධපුර දිස්ත්‍රික්කයේ එඩ්ස් රෝගය ඇතුළු සමාජ රෝග පැතිර යාම 70% ඉහළ ගොස් ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා  පැවසීය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සමාජ රෝග උවදුර, වකුගඩු රෝගය සහ මන්ද පෝෂණය වැඩිවිම යන කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසිය.

හෙතෙම මෙසේද පැවසිය.

‘මේ වන විට අනුරාධපුර රෝහලේ සමාජ රෝග සායනයෙන් රෝගින් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබනවා.පුද්ගලික වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ලබන රෝගින් මිට ඇතුළත් නැහැ.ඒ අනුව සමාජ රෝගින් සංඛ්‍යාව මිට වඩා ඉහළ යා හැකියි.සමාජ රෝග වැඩිවිමට එක් හේතුවක් තමයි සමලිංගික ක්‍රියාවලිය ප්‍රචලිත කිරිමට යම් යම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකව සිටිම.


අනෙක් කාරණය තමයි රජරට තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙන වකුගඩු රෝගය.මේ අවුරුද්දේ අනුරාධපුරයෙන් වකුගඩු රෝගින් 3800 ක් වාර්තාවී තිබෙනවා. මින් වැඩිම පිරිසක් වාර්තා වුණේ මධ්‍යම නුවරගම් පළාතේ සහ තිරප්පනේ යන ප්‍රදේශ වලින්.


මත්කුඩු වසංගතයත් අද අනුරාධපුර පුජනිය නගරය පුරා පැතිර යමින් තිබෙනවා. විජයපුර ප්‍රදේශයේ පමණක් මත්කුඩු වලට ඇබ්බැහි වුවන් 200 ක් පමණ ඉන්නවා.අනෙක් ප්‍රදේශ වල තත්වයත් එසේම තමයි. දිනෙන් දින මත්කුඩු වලට ඇබ්බැහි වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනවා.මන්ද පෝණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවත් දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. වයසේ ප්‍රමාණයට බර නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 23% උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 44% ඉහළ ගොස් තිබෙනවා.‘

දරුවන්ට පෝෂණය සහිත ආහාර නොලැබිම මිට හේතුවි තිබෙන බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසිය.