අළු ගිරවෙක්-මයිනෙක් ළඟ තබාගත් දෙදෙනෙකුට දඩ


(ශාන්ත චන්ද්‍රසිරි)
 
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත පක්ෂීන්  ලෙස සැලකෙන අළු ගිරවෙකු සහ මයිනෙකු   සන්තකයේ තබාගැනීමේ  චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට  රුපියල් 70,000 ක දඩ මුදලක් ගෙවන ලෙස වැලිමඩ  මහේස්ත්‍රාත් නදීරා  බෝගහදෙණිය මහත්මිය  අද  (08) නියෝග කළාය.
 
එක් අයෙකුට රුපියල් 35,000  බැගින් මෙලෙස  දඩ ගෙවීමට නියමවුයේ වැලිමඩ, ගුරුතලාව, මහතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුටය.
 
මෙම පුද්ගලයන්,  මෙම කුරුල්ලන්ට ඉගිලී යා නොහැකි ලෙස තටු කපා දමා කූඩු කොට  නිවෙස්වල තබාගෙන  ඇති කරමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ  මහතා පැවැසීය.
 
තටු කපා දමන ලද අළු ගිරවා හා මයිනා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට භාරදෙන ලෙසද  වනෝද්‍යාන නිලධාරීන්ට  මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.