චන්ද්‍ර සේන ගමගේ
කිරිගවයන් දක්කාගෙන වලවේ ගඟ දෙසට ගිය අසල් වැසියෙකු ගේ පසු පසින් ගිය 10 හැවිරිදි දරුවෙකු ඊයේ (21) සිට අතුරුදන්ව ඇති බවත් එම දරුවා ගැන අද (22) වන තුරුත් කිසිදු තොරතුරක් නැති බවත් අම්බලන්තොට පොලීසිය පවසයි.
වලවේ ගග ආසන්නයට ගොස් සිටියදි අතුරුදන්ව ඇත්තේ රිදියගම පුංචිහේනයාගම පදිංචිව සිටි කථන ආබාධයක් සහිතව සිටි දරුවෙක් බවත් අසල් වැසියා සමඟ අතුරුදන්ව ඇති දරුවා වලවේ ගග දෙසට ගිය බවත් දෙමවුපියෝ පවසති.
දරුවා නිවසට ඒම ප්‍රමාද වීම නිසා දරුවා ගැන නිවැසියන් සොයා බැලුවද ඔහු සොයා ගැනීමට දෙමාපියන්ට නොහැකි වී තිබේ. දරුවා පැළද සිටි පාවහන් යුගල ගඟ ආසන්නයේ තිබී හමුවු බව නිවැසියන් පවසති.
කිරි ගවයන් දක්කා ගෙන ගිය අසල් වැසියා පවසා ඇත්තේ දරුවා තමන් පසු පසින් පැමිණි බව තමන් නොදැන සිටි බවයි. වලවේ ගඟ තුළ අධික කිඹුල් ගහනයක් ඇති බව පවසන ප්‍රදේශවාසින් දරුවා ගඟට බැසීමෙන් අනතුරුව කිඹුලෙකුට ගොදුරු වෙන්නට ඇති බවත් පවසති.
අද (22) නාවික හමුදාවේ කිමිදුම් කරුවන් දරුවා ගැන සොයා බැලීම සඳහා පැමිණියද ගඟේ කිඹුලන් සිටීම නිසා එම මෙහෙයුම් නතර කරනු ලැබීය.