අවුකන පුදබිමේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)                          

ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින පූජාභූමි බලප්‍රදේශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි පිරිසිදු කිරීම සහ නඩත්තු කටයුතු අද (10) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පවරා තිබේ.
 
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවුකන පුදබිමේ සංචාරයක නිරත වන අවස්ථාවේදී එම ස්ථානය නඩත්තු කටයුතු නොවන බව විහාරාධිපති හිමියන් විසින් දැනුම් දීමෙන් පසු එම අවස්ථාවේදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතා අමතා පුදබිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධනය කොට නඩත්තු කටයුතු සිදුකරගෙන යන ලෙස උපදෙස් ලබාදුන් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.
 
ඒ අනුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් උසස් පුහුණු  පාසලේ සිවිල් ආරක්ෂක භටයන් මෙම අවුකන පුදබිම  පිරිසිදු කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
 
විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ලද ආගමික වතාවත්වලින් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළ සෙබළියන් එක්ව අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සහ එම පුදබිම නඩත්තු කටයුතු ආරම්භ විය.
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවුකන පුදබිම නඩත්තු කටයුතු සඳහා පැවරූ බව ය.
 
 ඒ අනුව ඉදිරියට මෙම ස්ථානය සංරක්ෂණ කටයුතු සිදු කිරීම් පිරිසිදු කිරිම් හා අලංකරණ කටයුතු සියල්ල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා සිදුකරන බවද සඳහන් කළේය. මීට පෙරද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අවුකන පුදබිම සංරක්ෂණය කිරීම්, පිරිසිදු කිරීම්, අලංකරණය කිරීම් සිදුකළද ගෙවීගිය පස් වසරක කාලය තුළ එම කටයුතුවලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉවත් කළ බව ද ආනන්ද පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින  පූජා භූමිය අද (10) සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සිදුකිරීම දිගටම ක්‍රියාත්මක වන බවත්, මෙම ස්ථානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පැය 24ක් පුරා රඳවා තැබීමටද උපදෙස් ලබා දුන් බවත් ඒ මහතා පැවසීය.