අලි-මිනිස් ගැටුම් වලින් වසර පහක දී 375 ක් මරුට



 
 
(ඩයනා උදයංගනී)
          
පසුගිය වසර පහ තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයින් 375කගේ සහ අලි ඇතුන් 1,177කගේ  ජීවිත අහිමි වී ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


මෙම කාලය තුළ දේපල හානි සිදුවීම් 5,800ක් පමණ වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


වර්තමානයේ උග‍්‍ර ගැටලූවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම විසඳීම සඳහා රජයේ අවදානය යොමු වී ඇති බව කී ඇමැතිවරයා ඒ අනුව වන අලි තර්ජන ඇති බවට අලූතින් හඳුනාගත් ප‍්‍රදේශවල කිලෝමීටර 2,651ක් වන විදුලි වැටක් ඉදිකිරීමටත්, මේ වන විට ස්ථාපිත කර ඇති කිලෝමීටර 4,343ක දිගකින් යුත් විදුලි වැටේ අක‍්‍රිය ස්ථාන සම්බන්ධ කිරීමට හා ඒවායේ ආරක්‍ෂාව හා නඩත්තුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සඳහා මානව සම්පත් පහසුකම් වැඩිකිරීමටත් නියමිත බව ද අමාත්‍යවරයා කීවේය.


අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.